කාලයක් තිස්සේ යටගැසී තිබූ සීනි බදු සිද්ධිය යළි එළියට ඇදෙන බව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයක දී සඳහන් විය. ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් මේ වංචාව හේතුවෙන් අහිමි වී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ දී වාර්තා කර තිබුණේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව ය. ඒ අනුව ඉදිරි කටයුතු අඛණ්ඩව සිදුවුණොත් මේ වංචාවේ සුලමුල හෙළිකර ගැනීම අපහසු නොවනු ඇත.
අදාළ වංචාව සිදුකර තිබුණේ සීනි ආනයනයේ දී කිලෝවකට පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමෙනි. සීනිවලට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද මේ ආකාරයට අවප්‍රමාණ කෙරුණේ 2020 වසරේ ඔක්තෝබර් 13 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබේ. ඒ අනුව මෙය මහා පරිමාණයේ වංචාවක් බවත් එය සිදු කිරීමට දේශපාලන බලවතුන්ගේ සහාය ද ලැබී ඇති බවත් තේරුම් ගැනීම අමාරු නැත. එවැනි දේශපාලන තල්ලුවක් නොතිබුණා නම් මේ තරම් කාලයක් මේ ආකාරයේ මහා පරිමාණ වංචාවක් යට ගසා තැබෙන්නේ ද නැත. රජයට පාඩු වූ කෝටි 1600න් කොටසක් වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයන් අතට ද තවත් කොටසක් එම වංචාව කිරීමට අත-හිත දුන් දේශපාලන බලවතුන් අතට ද ලැබුණු බවට ද කතා දෙකක් ද නැත.
මේ රටේ ආර්ථිකය මහා අර්බුදයක ගිලී යාමට තුඩු දී ඇති එක් හේතුවක් වන්නේ මෙවැනි මහා පරිමාණ වංචා සිදුවීමය. වංචනිකයන් අල්ලා කොටුකර අධිකරණය ඉදිරියට පැමිණවීමට කොතරම් තද නීති රීති දැමුවද වංචනික පුද්ගලයන්ගේ බල පුළුවන්කාරකම් හමුවේ ඒ නීති රීතිද නිහඬ වන්නේ නම් එයින් පැවසෙන්නේ මේ වංචා කිරීමට දේශපාලන උදව් ද තිබෙන බව ය. එය නීතියේ ආධිපත්‍යයට ද කෙරෙන අභියෝගයකි.
මහා බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලිපියක් ලියා ඇති ආර්ථික විද්වතකු බදු ගෙවන්නන්ගේ මුදල් සහ රජයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වටිනා අදහසක් සඳහන් කර තිබිණි. බදු ගෙවන්නන්ගේ මුදල් රජය මගින් එකතුකර වියදම් කිරීමේ දී සහ කළමනාකරණය කිරීමේ දී විනිවිදභාවයකින් කටයුතු කිරීම වැදගත් බවත් ඒ පිළිබඳ මහජනතාව දැනුම්වත් කිරීම ද සිදුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එහි ආයතනයක් සමඟ අලුත් ණය පහසුකම් ලබාගැනීමට සිදුකෙරෙන සාකච්ඡාවල දී රටේ බදු මුදල් සහ ණයගැතිභාවය පිළිබඳ ඉහළම මට්ටමේ විනිවිදභාවයක් පවත්වාගෙන යාම ණය ආපසු ගෙවා ගැනීමේදී සිදුවිය හැකි අවදානම අඩු කිරීමක් බවද එම ආර්ථික විශේෂඥයා විසින් පෙන්වා දී තිබිණි.
සීනි වංචාව සිදුවූ අවධියේ ඒවා ගෙන්වූ ව්‍යාපාරිකයන් පිරිසක් කියා තිබුණේ තමන් බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙන බවය. ඒ අර්ථයෙන් ගත් විට වෙළෙඳපොළේ සීනි කිලෝවක මිල රුපියල් 40කින් පමණ අඩුවිය යුතුව තිබිණි. එහෙත් සිදුවූයේ වෙළෙඳපොළේ සීනි මිල තවත් ඉහළ යාමය. මේ වංචාව මහ දවාලේ සිදුකළ මහා සොරකමක් වශයෙන් ඒ දවස්වලම හංවඩු ගැසුණේ මේ හේතුවෙනි. අඩුම තරමින් දැන්වත් මේ වංචාවේ මහ මොළකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ය.
( මුලාශ්‍ර - ලංකාදීප )
පසු සටහන - මේ අතර සීනි වංචාවට සම්බන්ධ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක් පසුගියදා සිංගප්පුරුවේදී හිටපු ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා මුණ ගැසී ඇතිබව වාර්තාවේ.