හය වැනිදා හර්තාලයට සියල්ල සුදානම්


ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් අනිද්දා (06) වැනිදා පැය 24ක හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මේ වන විට සියල්ල සූදානම් කර තිබේ.මෙම  දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට සාධනීය ලෙස පිළිතුරු නොදෙන්නේ නම් , අඛණ්ඩ වර්ජනය සහ  හර්තාලයක්  මැයි 11 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

හය වැනිදා හර්තාලය සඳහා සහාය පළකර ඇති වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සංඛ්‍යාව 2000 කට අධික ය. සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලි, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිය ගණනක් ඊට අයත් වේ.

මැයි 6 පැවැත්වෙන හර්තාල් හා වැඩවර්ජනයට සහාය පළකරමින් හෙට (මැයි 05) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24 ක් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය වෘත්තිය සමිති දැනටමත් ප්‍රකාශ කර ඇත.කඩසාප්පු හා වෙළෙඳසැල් වසා දමා විරෝධතාවයට එක්වන ලෙස වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.


 සියළු ආගමික සිද්ධස්ථාන වල උදේ 8.30 සිට 9.00 දක්වා ශබ්ද පූජා පවත්වන ලෙසත්, එකී උදේ 8.30 සිට 9.00 දක්වා කාලය තුල, මාර්ගයේ ගමන් කරන වාහන වල නලා හඩ අඛණ්ඩව නාද කරන ලෙසත්, නිවස ඉදිරිපිට කළු කොඩි ඔසවන ලෙසත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තවදුරටත් ඉල්ලා සිටී.

එමෙන්ම ළ‍ඟම ඇති මාර්ගයට, නගරයට ඒකරාශී වී, අවශ්‍ය ආහාර මාර්ගය අසල සාමූහිකව පිළියෙල කරන ලෙසත්, අත්‍යවශ්‍ය සේවා සැපයීමේ දී නිල ඇඳුම භාවිතයෙන් වලකින ලෙසත්, හැකිතාක් කළු වර්ණයෙන් සැරසී කටයුතු කරන ලෙසත් කමිටුව ඉල්ලා සිටී .මහජන දේපලට හානි වන අයුරින් කටයුතු කිරීම සහ ප්‍රචණ්ඩ හැසිරීමකට ඉඩ නොතබන ලෙස වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම-කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඉල්ලීමක් සිදු කර ඇත.

වෛද්‍ය නිලධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියලු කාර්යයමණ්ඩල මැයි 06 වැනිදා වෙනිදා උදෑසන 7 සිට පැය 24ක් වර්ජනය කිරීමට, එම වෘත්තීය සමිති විසින් ඒකමතික තීන්දුවක් ගෙන තිබේ.අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂණ සේවා සියල්ල සපයනු ලබන අතර, මහජනතාවට වන අපහසුතාවයන් අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සදහා එදිනට රෝහල් වෙත නොපැමිණෙන ලෙස  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. සය වැනිදා පෙරවරු 9 සිට සෞඛ්‍ය අමත්‍යාංශය සහ රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන අතර, මෙම හර්තාල් ව්‍යාපාරයේ දී මහජනතාවගේ පොදු දේපළට කිසිදු හානියක් සිදුකිරීම හෝ ප්‍රචණ්ඩත්වය කිසිවිටෙකත් අනුමත නොකරණ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය යලි යලිත්  අවධාරණය කරයි.